සූර්යකුමාර් ඉන්දීය T20 සංචිතයෙන් ඉවතට
June 6, 2026 02:12 pm
ඉන්දියාවට මෙවර විස්සයි20 ලෝක කුසලානය දිනාගැනීමට නායකත්වය දුන් සූර්යකුමාර් යාදව්, ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත හා අයර්ලන්ත සංචාරයෙන් ඉවත්කර තිබේ.
එම සංචාරයට එක්වන විස්සයි20 සංචිතය අද (6) ප්‍රකාශයට පත්කළ අතර, එහි නායකයා ලෙස 31 හැවිරිදි ශ්‍රෙයාස් අයියර් නම්කර ඇත.
ලෝක කුසලාන තරගාවලියෙන් පසු පැවති IPL තරගාවලියේ දී සූර්යකුමාර් දැක්වූ දුර්වල දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස නායකත්වයෙන් මෙන්ම සංචිතයෙන් ඉවත්කිරීමට හේතුවී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන සූර්යාට එළැඹෙන විස්සයි20 ලෝක කුසලානය වනවිට වයස අවුරුදු 38ක් වන බැවින්, 2028 දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සහ මීළඟ විස්සයි20 ලෝක කුසලානය සැලකිල්ලට ගෙන ඔහු ඉවත්කර ඇති බවද වාර්තා වේ.
සූර්යාට අමතරව ලෝක ශූර ඉන්දීය සංචිතය ඇතුළත්ව සිටි රින්කු සිං සහ කුල්දීප් යාදව්ද මෙම සංචාරයෙන් ඉවත්කර ඇති අතර, හර්දික් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රිත් බුම්රාද විවේක ගන්වා ඇත.
මේ අතර IPL තරගාවලියේදී සුවිශේෂී දක්කම් දැක්වූ 15 හැවිරිදි වෛභව් සූර්යවංශි මෙම තරග සංචාරයට කැඳවා තිබේ.
ඒ අනුව ඔහුට ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩාකිරීමට අවස්ථාවක් ලැබුණහොත් ඔහු සචින් තෙන්ඩුල්කාර්ගෙන් පසු ඉන්දීය පිරිමි කණ්ඩායමක් ක්‍රීඩාකරන ලාබාලතම ක්‍රීඩකයා බවට ඔහු පත්වනු ඇත.
අයර්ලන්ත සහ එංගලන්ත විස්සයි20 තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය
ශ්‍රෙයාස් අයියර් (නායක), අභිෂේක් ෂර්මා, සංජු සැම්සන්, ඉෂාන් කිෂාන්, ශිවම් ඩුබේ, තිලක් වර්මා (උපනායක), වෛභව් සූර්යවංශී, නිතිෂ් කුමාර් රෙඩ්ඩි, අක්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්, වරුන් චක්‍රවර්ති, රවී බිෂ්නෝයි, මොහොමඩ් සිරාජ්, හර්ෂිත් රානා, අර්ෂ්දීප් සිං, ප්‍රින්ස් යාදව්
